ලසන්ත වික‍්‍රමතුංග සමරා නිදහසේ වේදිකාව විසින් ‘නඩු නැති රටට මොට පායාද සූරියා?’ විරෝධතා රැස්වීම පවත්වන ලද්දේ ජනවාරි 11 වනදාය. ජනවාරි 11 වනදා ‘දි අයිලන්ඞ්’ පත‍්‍රය ඒ පිළිබඳව සිය කතුවැකිය වෙන් කළේය. එහි දී කතුවරයා මෙසේ කියයි.
‘‘දේශපාලන ක‍්‍රියාධරයන් සහ මානව හිමිකම් ක‍්‍රියාධරයන් විසින් බදාදා දින කොළඹදී ලසන්ත සමරන ලදී. ඔවුහු ආණ්ඩුව තදින් පතුරු ගැසූ අතර යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ අදහස් වලට එකඟවීමෙහි හෝ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් අපේ හඬ එක් කිරීමෙහි හෝ අසීරුතාවයක් නැත. නමුත් ඔවුන් අතර එල්. ටී. ටී. ඊ යට උඩගෙඩි දුන් සහ හෝ අතීතයේදී මාධ්‍යවේදීන්ට පහරදීම් සිදුවූ අවස්ථාවල ඒවා සාධාරණීය කළ සමහර චරිතද සිටීම කෙනෙකුට ප‍්‍රහේලිකාවකි.”
මේ තර්කය අනුව ගත්තොත් එදා ලසන්ත සමරුවට පැමිණි හා විශේෂයෙන්ම කතා කළ අය මේ දෙකොට්ඨාශයෙන් එක් කොටසකට වැටේ. සමහර අය දෙකොට්ඨාශයටම අයත් වේ. ඒ අනුව ලසන්ත සැමරීමේ උරුමය ඇත්තේ අයිලන්ඞ් කර්තෘවරයා වැනි රහසින්වත් පව් නොකළ ස්වාධීන මාධ්‍යවේදීන්ටය. ලබන වසරේ ලසන්ත සමරුවේදී කතා කරන ලෙස ඔහුට ආරාධනා කිරීමට අපි කැමැත්තෙමු. ප‍්‍රශ්නය ඒ සඳහා ඒමට ඔහු කැමැති වේද යන්නය.
අයිලන්ඞ් කර්තෘවරයා විසින් ආරම්භ කළ සංවාදය නිසා නිදහසේ වේදිකාව සංවිධානය කළ ලසන්ත සමරුවේදී ඔහු අකැමැති වර්ගයේ පුද්ගලයන්ට වේදිකාව විවෘත කරන ලද්දේ මන්ද යන කරුණ ගැන අපේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමට අපටද අවස්ථාවක් එළඹ ඇත.
නිදහසේ වේදිකාව 2009 දී ගොඩනඟන ලද්දේ ‘භාෂණයට හඬක් – ජීවිතයට ඉඩක්’ යන තේමාව යටතේය. භාෂණයට හඬක් අහිමි වීම සහ එසේ හඬ නඟන්නන්ගේ ජීවිතයට ඉඩ ඇහිරීම වැළැක්වීම සඳහා පුළුල් එකතුවක් ගොඩනැඟීම නිදහසේ වේදිකාවේ අරමුණ විය.
නිදහසේ වේදිකාව ගොඩනැරැඟීමට නිමිත්ත වූයේ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයයි. ලසන්ත භාෂණයට ඉඩක් ලබා ගැනීම වෙනුවෙන් සටන් කළ අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ජීවිතයට ඉඩ අහිමි විය.
භාෂණයට ඉඩ ඇහිරුණේ කා හටද යන්න මෙහිදී ඇසිය යුතු මසුරං වටින ප‍්‍රශ්නයයි. ආණ්ඩුව කියන විදියට, ආණ්ඩුව මාධ්‍යයට සහ මාධ්‍යකරුවන්ට ආදරේය. මාධ්‍ය වාරණයක් පැනවීමට ආණ්ඩුව ක‍්‍රියා නොකළේය. ආණ්ඩුවේ මාධ්‍යයන්ට වඩා වැඩි ප‍්‍රමාණයක් පවතින්නේ නිදහස් මාධ්‍ය වශයෙන් ජනප‍්‍රිය වහරේ හඳුන්වනු ලබන පුද්ගල අයිතිය යටතේ ඇති මාධ්‍යයි. එසේ නම් හඬ අහිමි වී ඇත්තේ කාටද? හඬ නැගීම නිසා ජීවිතයට ඉඩ අහිමි වූයේ කාගේද?
සමාජයේ අධිපති මතවාදය විසින් රාජ්‍යය සම්පූර්ණ ග‍්‍රහණයට ගෙන තිබූ මොහොතක එම අධිපති මතවාදය වර නඟන මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් වාරණය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇති නොවන්නේ ඔවුන් ‘අතින් පැට‍්‍රල් ගසාගෙන’ ආණ්ඩුවට අවශ්‍ය මතවාදය ප‍්‍රචාරය කරන බැවිනි. එබැවින් එවැනි අවිචාර සමයක භාෂණයට හඬ අහිමි වන්නේ එකී අධිපති මතවාදයට යට නොවී, එයට අනුගත නොවී, එය හමුවේ කෙළින් හිටගෙන එම අධිපති මතවාදයට අභියෝග කිරීමට තරම් නිර්භීත වූ මිනිසුන්ට හා ගැහැනුන්ට පමණි. වෙනත් වචනයකින් කිව්වොත් ජාතික ප‍්‍රශ්නයට විසඳුම ඇත්තේ සාකච්ඡා මේසය හරහා මිස එම ප‍්‍රශ්නය මුල්කර ගෙන පැන නැඟුණු කැරලිකාරීත්වය අනුකම්පා විරහිත ලෙස ලෙයින් හා යකඩින් මර්දනය කිරීම නොවන බව කීමට ශක්තිය තිබූ මිනිසුන්ට සහ ගැහැනුන්ට පමණි. ලසන්ත වික‍්‍රමතුංග යනු එවැනි මිනිසෙකි.
එම මිනිසාගේ මරණය නිමිති කරගෙන ගොඩනැඟුණු ව්‍යාපාරය සඳහා එක්වූයේ ද ඔහු වැනිම අධිපති මතවාදයට අභියෝග කළ සහ ඒ නිසාම එම මොහොතේදී බහුතර සමාජයේ අවඥාවට, ගර්හාවට සහ ක්‍රෝධයට ලක්ව සිටි මිනිසුන් කිහිපදෙනෙකු පමණය.
සිවිල් සමාජය පැත්තෙන් මෙම ව්‍යයාමය සඳහා කැඳවුම්කරුවන් වශයෙන් ජනවාරි 20 වන දා කොළඹට රැස්වූ සභා සම්මතයෙන් තේරී පත්වූයේ සරවනමුත්තු, වැලිඅමුණ, නිමල්කා සහ මේ ලියුම්කරුය. ඉන්පසු මේ සඳහා බි‍්‍රටෝ ප‍්‍රනාන්දු ද එක් කර ගන්නා ලදී. නිමල්කා සහ සරවනමුත්තු ලංකාවේ මිනිසුන්ගේ මානව හිමිකම් පිළිබඳව සහ විශේෂයෙන්ම යුද්ධය අවස්ථාවේ එයට මැදි වී සිටින සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හඬ නැඟීම නිසා උදහසට පාත‍්‍ර වූවෝ වූහ. බි‍්‍රටෝ වධහිංසාවට පත්වූවන් සහ අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටි ක‍්‍රියාකාරිකයෙකු වූ අතර ඒ නිසා තර්ජනයන්ට ලක්වූවෙකි. වැලිඅමුණ එකී පුද්ගලයන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවලට පෙනී සිටීම හේතුවෙන් තම නිවසට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයකින් දිවි ගලවා ගත් නීතිඥයෙකි. ඒ සියලූදෙනා අයත් වනුයේ අධිපති මතවාදයට අභියෝග කළ මිනිසුන්ගේ ගොඩටය.
මේ හා එක්වූ දේශපාලන නායකයන්ගේ තත්ත්වයද ඊට නොදෙවෙනිය. රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයා ජනතාව අතර ගර්හාවට පත් කරන ලද්දේ ඔහු යුද්ධයට විරුද්ධව පෙනී සිටිමින් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම මුල් කර ගෙනය. මනෝ ගනේෂන්, වික‍්‍රමබාහු සහ සිරිතුංග දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටීමත්, එවකට සිදුවූ අතුරුදහන්වීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝණයන්ට විරුද්ධව සක‍්‍රීයව කටයුතු කිරීමත් නිසා බහුතර සමාජයේ වෛරයට සහ උදහසට පත්විය. ආණ්ඩුවෙන් එළියට පැමිණ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව කතා කිරීම නිසා මංගල සමරවීර සිටියේ ද සතුරු ලැයිස්තුවේය.
වසර තුනකට පෙර ඝාතනය වූ ලසන්තට තවමත් සාධාරණත්වයක් ඉටු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. මිනීමරුවන් හෙළි කරන බවට ආණ්ඩුවේ ඉහළම තැන්වලින් කරන ලද ප‍්‍රකාශය පිළිබඳව මාසික හීල් දානය අවස්ථාවේවත් පසු විපරමක යෙදීමට අවශ්‍ය ධෛර්යය සිය කතු වැකිවලින් සිංහ නාද පවත්වන එක කතුවරයෙකුට හෝ ඇති බව නොපෙනේ. එබැවින් ලසන්ත ඝාතනය කවුරුන් කළත් ඔහු නඩු නැතිව නිදොස් වීම හේතුවෙන් එහි වගකීම ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වගකීම ඇති ආණ්ඩුව වෙත පැවරේ.
ලසන්තගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටු නොවීම නීතිය පිළිබඳ ප‍්‍රශ්නයක් නොව දේශපාලනය පිළිබඳ ප‍්‍රශ්නයකි. එමනිසා ලසන්ත සමරුවද දේශපාලන ප‍්‍රකාශනයකි. මෙය හුදෙක් මාධ්‍ය නිදහස හෝ මාධ්‍යවේදීන් සැමරීමක් නොවේ. අධිපති මතවාදයට විරුද්ධව නිරායුධව වෙනස් මතයක් දැරූ ලසන්ත වැනි මිනිසුන් වෙනුවෙන් එදා සිට අද දක්වාම නොසැලී එම ස්ථාවරය දරාගෙන සිටින තවත් එවැනි මිනිසුන් පිරිසක් විසින් කරනු ලබූ සිහි කිරීමකි. ඒ නිසා ජනවාරි 11 වන දා උත්සවයට සහභාගී වූ හා එහිදී කතා කළ රනිල්ගේ සිට බි‍්‍රටෝ දක්වා සියලූදෙනාට ඒ සඳහා අයිතියක් තිබේ. එම අයිතිය ලැබෙන්නේ අසීරු අරමුණක් වෙනුවෙන් එක්ව සටන් කිරීම නිසා ලැබෙන උරුමයෙන් වන අතර අපි එම උරුමය ගැන ආඩම්බර වෙමු. එය ආරක්ෂා කරමු.
සුදර්ශන ගුණවර්ධන






